පසුගිය මාසයේදී හෝමුස් සමුද්‍ර සන්ධියේදී ප්‍රහාරයට ලක්වූ තායිලන්ත ධජය යටතේ යාත්‍රා කළ නෞකාවේ සේවය කළ නාවිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තායිලන්ත විදේශ අමාත්‍ය සිහසක් පුවාන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා අද (08) තහවුරු කළේය.
නෞකාවේ පසුපස කොටසේ සිදුවූ පිපිරීමක් සහ එන්ජින් කාමරයේ හටගත් ගින්නක් හේතුවෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පසුව නෞකාවේ සිටි අනෙකුත් සේවකයින් 20 දෙනෙකු ඕමාන් නාවික හමුදාව විසින් බේරාගත් බව තායිලන්ත බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.
මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය මැදපෙරදිග කලාපයේ මුහුදු මාර්ගවල ආරක්ෂාව පිළිබඳ දැඩි කතාබහක් ඇති කිරීමට හේතු විය. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, මෙවැනි සිදුවීම් හරහා සිදුවූ ජීවිත හානි පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව සිය කනගාටුව පළ කර සිටියි.















