තායිලන්තයේ බැංකොක් නුවර සිට රුපියල් ලක්ෂ දෙකක් වටිනා සජීවී විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද (27) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙකු වන අතර, ඔහු අද අලුයම 12:30 ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL-405 දරන ගුවන් යානයෙන් දිවයිනට ළඟා වී තිබුණි.
ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති පුද්ගලයන් සඳහා වෙන් කර ඇති “හරිත මාවත” (Green Channel) ඔස්සේ මෙම පැළ තොගය සොරකමින් පිට කරගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ට මතු වූ සැකයක් මත සිදුකළ පරීක්ෂාවකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඉතා සූක්ෂ්ම ලෙස කඩදාසිවල ඔතා සඟවා තිබූ විසිතුරු පැළ තොගය එහිදී සොයා ගැනීමට නිලධාරීහු සමත් වූහ.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහ නිසි අවසර පත්‍ර නොමැතිව සජීවී පැළ වර්ග මෙරටට ගෙන ඒම දේශීය කෘෂිකර්මාන්තයට සහ පරිසර පද්ධතියට හානිකර විය හැකි බැවින් එවැනි ක්‍රියා නීතියෙන් තහනම් කර ඇත. මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


















