දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද සමන් ඒකනායක මහතා පවසයි.
ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව වෙළෙඳ මණ්ඩල සහ කර්මාන්ත උපදේශක කමිටු දැනුවත් කිරීම සඳහා පසුගිය 16දා මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡවේදී ය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු, වෙළඳ සහ කර්මාන්ත යන අමාත්‍යාංශ ලේකම්වරුන් සහභාගී වූ මෙම සාකච්ඡාවට ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සාමාජිකයින්ද එක්ව සිටියහ.
ගෝලීය වෙළඳාම අද වනවිට එහි ගතානුගතික සීමාවන් අභිබවා ගෝලීය නිෂ්පාදන ජාලයන් දෙසට නැඹුරු වී ඇති අතර තවමත් ශ්‍රී ලංකාවට ඊට අනුගත වෙමින් එහි ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් සැපයුම් ධාරිතාව වර්ධනය සහ වෙළෙදපොළ ප්‍රවේශය පුළුල් කර ගැනීම යන කරුණු දෙකම දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව සිංගප්පූරුව සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති අතර ආයෝජන වෙළෙඳ අන්තර් – සම්බන්ධතාව හරහා භාණ්ඩ හා සේවා වෙළෙඳාමට ප්‍රතිලාභ ලබාදීම සඳහා සෘජු විදේශ ආයෝජන විශාල ලෙස ආකර්ශණය කරගත හැකි ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ නිදස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජය මේ වන විට මූලික පියවර ගෙන ඇත.
ඇණහිට ඇති මෙම සාකච්ඡා නැවත පණ ගැන්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් වෙළඳ සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර මෙම ගිවිසුම් අවසානයේ දී ලෝක ආර්ථිකයෙන්, වෙළඳාමෙන් හා ජනගහනයෙන් 30% ක හිමිකාරිත්වයක් සතු කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මාවත විවර කර දෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, දේශීය ආර්ථිකය තුළට ණය නොවන ගලා ඒම්හි මෙන්ම අපනයන නිෂ්පාදන හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
එසේම 2023 අයවැය යෝජනාවක් ලෙස, සියලුම ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සිදු කිරීම සඳහා ස්ථාපිත කිරීමට යෝජිත, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය (ITO) සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම සාකච්ඡා ක්‍රියාවලියේ දී වාණිජ මණ්ඩල සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ මෙම වෙළෙඳ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට විදේශ දූත මණ්ඩල සහ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් යාන්ත්‍රණය පූර්ණ සූදානමකින් පසුවන බවයි.
රජයේ සැලැස්මට අනුව යෝජිත ආයතනික යාන්ත්‍රණය නිසි ලෙස ස්ථාපිත වූ පසු එය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කෙරනු ඇති අතර ඒ හරහා ජාත්‍යන්තර වෙළෙඳ සාකච්ඡා සිදු කෙරෙනු ඇති බව ඇය සඳහන් කළාය.
පෞද්ගලික අංශයේ නියෝජිතයන්ද ඉතා උනන්දුවෙන් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ශ්‍රී ලාංකික අපනයනවලට විදේශ වෙළඳපොළ පුළුල් කර ගැනීම් සහ පවත්නා වෙළඳපොළ රැක ගැනීමේ යෝජනා පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ඕවුහු පෙන්වා දුන්හ.
අපනයන භාණ්ඩ සඳහා තීරුබදු ඉවත් කර ගැනීමට සමගාමීව කෝටා සීමාවන්, ප්‍රමිති පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්, අන්‍යොන්‍ය ප්‍රමිතීන් හඳුනාගැනීමේ ගිවිසුම්වලට එළැඹීම වැනි අපනයනකරුවන් ප්‍රායෝගිකව මුහුණ දෙන තීරු බදු නොවන අනෙකුත් ගැටළු කෙරෙහි ද මෙම ගිවිසුම් මගින් අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.
එසේම වෙළෙඳ සාකච්ඡා ක්‍රියාවලිය පුරාවටම පුද්ගලික අංශය සමඟ නිරන්තර පුළුල් සංවාදයක් අදාළ රාජ්‍ය ආයතන හරහා පවත්වන බවට ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව මෙහිදී තහවුරු කරන ලදී.