8 September 2024
#දේශීය #පුවත්

රැසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක වීසා මගින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති අතර, එරටදී රැසියානු-යුක්රේන යුද්ධයේ යුධ පෙරමුණට යාමට මෙම ලාංකිකයින්ට සිදුවී ඇත. මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වේ.

ඒ අනුව, නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ චම්පිකා එක්ස්පෝර්ට් විදේශ රැකියා ආයතනය නමින් පවත්වාගෙන ගිය අදාල ආයතනය ඊයේ දින (15) වැටලීම් කර, එහි හිමිකරු සහ කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අදාල රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද මේ වන විට අත්හිටුවීමට කාර්යාංශය පියවර ගෙන ඇත.

මෙම විමර්ශනය සඳහා කළමනාකරු (විශේෂ විමර්ශන) කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, මහීෂ කොඩිප්පිලිආරච්චි, මදුශාන් විජේවර්ධන, අමිල පෙරේරා හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් සහභාගි විය.

කිසිඳු හමුදාවක සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරිම රජය අනුමත නොකරන බවත්, සංචාරක වීසා මගින් කිසිඳු විටෙක විදේශ රැකියා සඳහා යොමුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *