විප්ලවයකින් තොරව, අධිකරණයේ සිර වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (26) පෙරවරුවේ පුදුකුඩියිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ පැවති “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වව්නියා දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමිනි.
වව්නියාව රෝහල ප්‍රධාන රෝහලක් ලෙස සංවර්ධනය කරන බවත්, වව්නියාව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
වව්නියාව දිස්ත්‍රික්කය තුළ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමතරව නැවත පදිංචි කළ පිරිසටද කඩිනමින් ඉඩම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා සින්නක්කර ඔප්පු 1,376ක් ලබා දීමට නියමිතය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” අද ජනාධිපතිවරයා ලෙස මුලිතිව් දිස්ත්‍රික්කයට පැමිණීමට අවස්ථාව ලැබීම පිළිබඳ පළමුව මගේ සතුට පළ කරනවා. මෙම උරුමය සින්නකර ඔප්පු ලබාදිමේ වැඩසටහනේදී මුලතිව් දිස්ත්‍රික්කයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. යුද්ධය නිසා මෙම ප්‍රදේශයේ ගොඩනැගිලි විනාශ වුණා වගේම බොහෝ දෙනෙකුට ඉඩම් අත්හැර යාමට සිදු වණා. එබැවින් මුලතිව් දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් විශාල කාර්යයක් බවට පත්ව තිබෙනවා. එම නිසා මේ ප්‍රදේශයේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමතරව නැවත පදිංචි කළ පිරිසටද සින්නක්කර ඔප්පු ලබාදීමට අප පියවර ගන්නවා. ඒ යටතේ 18,000ක පමණ පිරිසකට ඔප්පු ලබාදීමට තිබෙන බව කාදර් මස්තාන් මන්ත්‍රීවරයා මා සමඟ පැවසුවා. එම ඔප්පු ලබා දීමට අප කටයුතු කරනවා. මෙම කටයුතු සඳහා ඉඩම් කොමසාරිස් කාර්යාලයට සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට මම පසුගියදා අනුමැතිය ලබා දුන්නා. මෙරට පළමු වතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ජනතාවට ලබා දීමේ උරුමය වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් බව කිවයුතුයි. ජනතාව මෙතෙක් කල් මෙම ඉඩම් වල ජීවත්වුණත්, කෘෂිකාර්මික කටයුතු සිදු කළත් ඉඩමේ අයිතිය ජනතාවට හිමිව තිබුණේ නැහැ. රටේ සෑම ජාතියකටම අයත් ජනතාව විශාල පිරිසක් රටේ කෘෂිකර්මාන්තය සඳහා දායකත්වය ලබා දුන්නද ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදීමට හැකි වී තිබුණේ නැහැ.
යහපාලන ආණ්ඩුව සමයේ මම මේ පිළිබඳ නීතියක් ගෙන ආ විට ඊට විරුද්ධව ඇතැම් අය අධිකරණයට ගියා. ජනාධිපතිවරයා ලෙස මා හට ඉඩම් ලබාදීමේ බලතල හිමිව තිබුණා. නමුත් මම නව නීති සම්මත කර ගැනීමකින් තොරව, අධිකරණයේ සිරි වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම ඉඩම් ඔබේ උරුමයයි. ඔබේ පරම්පරා දෙක තුනක් කෘෂිකාර්මික කටයුතුවල නිරත වූ ඉඩම දැන් ඔබේ අයිතියට ලබා දෙනවා. එසේ නම් මෙය රටේ සිදුවන විශාලම පුද්ගලීකරණයයි. දකුණු ආසියාවේ මෙවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ අප රටේ පමණයි. සාමාන්‍ය ජනතාවට ඉඩම් අයිතිය හිමි වන්නේ විශාල විප්ලවයකින් සහ ලේ වැගිරීමකින් පසුවයි. අපි විප්ලවයකින් තොරවම මෙම වැඩකටයුත්ත සිදු කර තිබෙනවා. ඒ වගේම ජනතාවට දියුණුවීමට අවශ්‍ය මාර්ගය අප සකස් කර දී තිබෙනවා. තමන්ගේ දරුවන්ට ඉඩමක් ලබාදීමට අවස්ථාව සලසා දී තිබෙනවා. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ අවුරුදු 04ක් මේ රටේ ජනතාව දුක් වින්දා. නමුත් නිහඩවම එම දුක විඳගත්තා. දැන් ආර්ථිකය යහපත් තත්ත්වකට පැමිණ තිබෙනවා. මෙතැන් සිට රටේ ආර්ථිකය සීග්‍රයෙන් දියුණු කළයුතුයි. මෙහි වාසිය කිහිප දෙනෙකුට සීමා කරන්න බැහැ. ඔබට මේ ඉඩම් අයිතිය ලබා දී තිබෙන්නේ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ඉදිරියට යාමටයි. ඒ වගේම දුක් වින්ද ජනතාවට සහනයක් ලබාදීම සඳහා රජය විසින් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. අස්වැසුම ලාභින්ට සමෘද්ධිය මෙන් තුන් ගුණයක ප්‍රතිලාභ හිමිවන අතර ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 8 සිට 24 දක්වා වැඩිකර තිබෙනවා. ඒ වගේම සිංහල දෙමළ අලුත් අවුරුද්ද සහ වෙසක් උත්සවය වෙනුවෙන් අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 10 බැගින් ලබාදීම සිදු කෙරෙනවා. රටේ සංවර්ධනක් තිබූ යුගයක ආණ්ඩුවට මේවා ජනතාව වෙනුවෙන් ලබාදීමට නොහැකි වුණා. නමුත් බංකොළොත් කාලයකදීත් අප විසින් මෙම ප්‍රතිලාභ ජනතාවට ලබා දී තිබෙනවා. මේ වසර අවසන් වන විට බංකොළාත්භාවයෙන් නිදහස් වීමට මෙරටට හැකි වන අතර ඒ පිළිබඳ දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එම කොන්දේසි නීතිගත කිරීමට මම බලාපොරොත්තු වන අතර ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ වන විටත් ඉදිරිපත් කර තිබෙනවා. මේ රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කර තරගකාරී ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි. ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට එක්වන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය දින කිහිපය පුරා මම උතුරු පළාත තුළ රැදි සිටියේ රෝහල් කිහිපයක් විවෘත කිරීම වෙනුවෙනුයි. යහපාලන ආණ්ඩුව සමයේ යාපනයේ වෛද්‍ය පීඨය ඇති කිරීමටත්, නව ගොඩනැගිල්ල ඉදිකිරීමටත් මුදල් වෙන් කළා. ඒ වගේම නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව සෞඛ්‍ය ඒකක 04ක් ආරම්භ කිරීමට එකඟත්වයට පැමිණියා. කොවිඩි වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා එම කටයුතු වසර 04ක් අතපසු වූවත් දැන් එම කටයුතු අවසන් කර ඒවා විවෘත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මම යාපනය විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කළා. ඒ වගේම පසුගිය මාර්තු මාසයේදී පේදුරු තුඩුවේ නව සෞඛ්‍ය මධ්‍යස්ථානය විවෘත කළා, ඊයේ කිලිනොච්චියේ සෞඛ්‍ය ඒකකය විවෘත කළ අතර අද වව්නියාව සහ මාන්කුලම් සෞඛ්‍ය ඒකක විවෘත කරනවා. මේ සමඟ හොඳම සෞඛ්‍ය ක්‍රමයක් උතුරු පළාතට ලැබෙනවා. ඒ වගේම යාපනය රෝහල ජාතික රෝහලක් ලෙස වැඩිදියුණු කිරීමට අප පසුගියදා තීරණය කළා. ඒ වගේම වව්නියාව රෝහල ද ප්‍රධාන රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස මම ආණ්ඩුකාරතුමියට සහ පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දුන්නා. ඉන් පසුව එය ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඇති කිරීමට ද හැකියාව ලැබෙනවා. අපි සියලුදෙනා එක් වී උතුරු පළාත සීග්‍ර සංවර්ධනයකට ගෙන යමු. මේ ඒ සඳහා සුදුසුම වේලාව බව ප්‍රකාශ කරමින් ඊට එක්වන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී සු. නෝගරාදලිංගම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, , පාර්ලිමේන්තු මන්ත්‍රී කේ දිලීපන් මහතා, ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.