දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් නවීන පහසුකම්වලින් සමන්විත දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාලය අද (13) පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
දිගු ඉතිහාසයක් ඇති මෙම තැපැල් කාර්යාලය මෙතෙක් පවත්වාගෙන ගොස් ඇත්තේ කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලකය. මේ සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය භූමිය 1996 වර්ෂයේදීම වෙන් කර තිබුණද, පසුගිය වසර 30ක කාලය තුළ ඒ සඳහා ප්‍රායෝගික පියවරක් ගෙන තිබුණේ නැත. වත්මන් රජය පත්වීමෙන් පසු 2025 සැප්තැම්බර් 07 වන දින මෙයට මුල්ගල් තැබූ අතර, රුපියල් මිලියන 14.71ක වියදමින් ඉතා කෙටි කලක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම නව තැපැල් කාර්යාලය විවෘත කිරීමත් සමඟ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පවුල් 5,200කට අධික සංඛ්‍යාවකට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තැපැල් සේවාවක් සැලසීමට අපේක්ෂිතය. මෙම අවස්ථාවට රිදීගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ඩී. සුමනදාස මහතා, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.














