රුපියල් පනස් දෙලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ සුවඳ විලවුන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට සේවය කරන 29 සහ 38 හැවිරිදි වියේ පසුවන චීන ජාතික සංචාරක මගපෙන්වන්නන් දෙදෙනෙකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සිටින බව රේගුව පවසයි.
මොවුන් අද (11) අලුයම 12:10ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-102 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණ ඇති අතර සැකකරුවන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 33,600ක් අඩංගු කාටූන් 168ක් සහ කිලෝ ග්‍රෑම් 20ක් බරැති සුවඳ විලවුන් තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් තිදෙනා සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. නීතිවිරෝධී ලෙස මෙරටට භාණ්ඩ රැගෙන ඒම වැළැක්වීම සඳහා රේගු පරීක්ෂා කිරීම් දැඩි කර ඇති අතර, මෙම ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයන් සොයා ද පරීක්ෂණ ක්‍රියාත්මකය.















