බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයෙන් මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයින් තිදෙනෙකු පාර්ලිමේන්තු වරම් දිනාගැනීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ. මෙලෙස ජයග්‍රහණය කර ඇත්තේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) ලුට්ෆොසාමන් බාබාර් (Lutfozzaman Babar), අබ්දුස් සලාම් පින්ටු (Abdus Salam Pintu) සහ ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ ඒ.ටී.එම්. අසාරුල් ඉස්ලාම් (ATM Azharul Islam) යන තිදෙනායි. ෂෙයික් හසීනා පාලන සමයේදී අත්බෝම්බ ප්‍රහාර සහ යුද අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට මරණ දඬුවම නියම වී තිබුණද, 2024 අගෝස්තු මාසයේදී මුහම්මද් යුනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්කාලීන රජය බලයට පත්වීමෙන් පසු අධිකරණ තීන්දුවලින් මොවුන් නිදහස් කරනු ලැබීය.
ලුට්ෆොසාමන් බාබාර් නෙට්‍රොකෝනා-4 අසනයෙන්ද, අබ්දුස් සලාම් පින්ටු ටැන්ගායිල්-2 අසනයෙන්ද, අසාරුල් ඉස්ලාම් රංග්පූර්-2 අසනයෙන්ද මෙලෙස ජයග්‍රහණය කර ඇත. හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඝාතනය කිරීමට තැත් කිරීම සහ 1971 නිදහස් සටනේදී සිදුකළ බව කියන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට මරණ දඬුවම නියම වී තිබිණි. තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් BNP පක්ෂය මෙවර මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කර ඇති අතර, මෙම අපරාධ චෝදනා ලැබ සිටි පුද්ගලයින්ගේ නැවත පැමිණීම කලාපීය දේශපාලනය තුළ ද විශාල කතාබහක් ඇති කර තිබේ.














