රජය විසින් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ, ත්‍රිරෝද රථ ගාස්තුව ද සංශෝධනය කිරීමට ත්‍රිරෝද රථ සංගම් සූදානම් වෙයි. ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 20කින් ඉහළ නැංවීමට රජයෙන් ඉල්ලා සිටින බවයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා අවධාරණය කළේ පවතින ඉන්ධන අර්බුදය සහ මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝද රථ සේවාව පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් වී ඇති බවයි.
මෙම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කළ හැක්කේ මීටර භාවිතා කරන ත්‍රිරෝද රථ සඳහා පමණක් බවත්, පවතින අසීරු තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නුදුරේදීම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් කරුණු ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ” තත්ත්වයක් උදා වී ඇති බව පවසන රියදුරන්, සිය වෘත්තිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම මිල සංශෝධනය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙති.














