පසුගිය මාසයේදී ෆ්ලොරිඩාවේදී සිදුවූ රිය අනතුරකින් පසු සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ සිරුරේ රැඳවූ කැමරා (Bodycam) දර්ශන පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. 50 හැවිරිදි වුඩ්ස් සිය රිය අනතුරට ලක්වූ අවස්ථාවේ පොලිසියට සහාය දක්වන අයුරු එහි දැක්වෙන අතර, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව ගොනු කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේ තමන් දුරකථනය දෙස බැලූ බවත්, එවිටම රථය අනතුරට ලක්වූ බවත් ඔහු නිලධාරීන්ට පවසන අයුරු එහි සටහන්ව තිබේ.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති වුවද, වුඩ්ස් සන්තකයේ තිබී ප්‍රබල වේදනා නාශක පෙති වර්ගයක් හමු වී ඇති බව පොලිසිය පවසයි. ඔහු මත්පැන් පානය කර නොමැති බව තහවුරු වුවද, අධික ලෙස දහඩිය දැමීම සහ මන්දගාමී චලනයන් හේතුවෙන් ඔහු යම් ඖෂධයක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරයි. මේ වන විට ඔහු සියලු වෘත්තීය ගොල්ෆ් තරඟවලින් ඉවත් වී ප්‍රතිකාර සඳහා විදේශගත වීමට අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.
මෙම සිදුවීමත් සමඟ 2027 වසරේ පැවැත්වෙන රයිඩර් කුසලාන (Ryder Cup) තරඟාවලියේ ඇමරිකානු කණ්ඩායමේ නායකත්වය භාරගැනීම ද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත. ගොල්ෆ් ලොවේ ප්‍රවීණයන් පවසන්නේ මෙම සිදුවීම සමස්ත ක්‍රීඩාවටම කළු පැල්ලමක් බවයි. වසර ගණනාවක් පුරා පවතින ශාරීරික වේදනාවන් නිසා ඔහු මෙම තත්ත්වයට පත්ව ඇති බවට ඇතැමුන් අනුකම්පාව පළ කළ ද, ඔහුගේ මෙම වගකීම් විරහිත ක්‍රියාව පිළිබඳව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.















