යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි 23 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයන් අටදෙනෙකු ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නෝර්වුඩ් පොලිසිය පවසයි.
බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා, දැනට විදේශගතව සිටින කාන්තාවකට ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි පණිවිඩ එවා ඇති බවට ලද තොරතුරක් මත මෙම පැහැර ගැනීම සිදු කර ඇත.
අදාළ කාන්තාවගේ සහෝදරයන් ඇතුළු පිරිසක් වෑන් රථයකින් යාපනයට ගොස් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
පේදුරුතුඩුව පොලිසිය විසින් නෝර්වුඩ් පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව, සැකකරුවන් ගමන් ගත් වාහනය පරීක්ෂා කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. පැහැර ගැනීමට ලක්ව පහරකෑ තරුණයා මේ වන විට දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් පැමිණි වෑන් රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














