වත්මන් රජය බලයට පැමිණ ඇත්තේ වෛරය සහ ක්‍රෝධය පතුරවා බවත්, ඔවුන් යටතේ රටේ සංවර්ධනය අඩාල වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රටට කිසිදු නව ආයෝජකයෙකු පැමිණ නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම විදුලි බලාගාර හෝ අධිවේගී මාර්ග වැනි අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය අපොහොසත් වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.
2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයෙන් පරාජය නොවූයේ නම්, අද වන විට වරාය නගරය සම්පූර්ණයෙන් නිම වී ඇති බවත්, එමගින් ශ්‍රී ලාංකීය තරුණ පරපුරට ඩොලර්වලින් වැටුප් ලබාගත හැකි මධ්‍යස්ථානයක් බවට එය පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. වරාය නගරය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දරන මතය කුමක්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
මෙම මාධ්‍ය හමුවේදී තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ වර්තමාන පාලනය යටතේ රටේ අනාගතය පිළිබඳව තරුණ පරපුර තුළ අවිශ්වාසයක් ගොඩනැගී ඇති බවයි.














