වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් තෝ ලම් (To Lam) මහතා එරට රාජ්‍ය සභාපතිවරයා ලෙස අද (07) ඒකමතිකව තේරී පත් විය. ඒ අනුව ඉදිරි වසර පහක කාලය සඳහා ඔහු වියට්නාමයේ බලවත්ම නායකයා ලෙස කටයුතු කරනු ඇත. වියට්නාමයේ සාම්ප්‍රදායික සාමූහික නායකත්ව ක්‍රමවේදයෙන් බැහැරව, තනි පුද්ගලයෙකු වටා මෙලෙස බලය කේන්ද්‍රගත වීම දශක කිහිපයකට පසු එරට දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂී සිදුවීමකි.
පසුගිය ජනවාරි මාසයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය සඳහා දෙවන වරටත් පත්වූ තෝ ලම් මහතා, දැන් රාජ්‍ය සභාපති ධුරය ද දරමින් ද්විත්ව බලතල සහිතව රට පාලනය කරනු ඇත. මෙම බලතල කේන්ද්‍රගත වීම අසල්වැසි චීනයේ පාලන ක්‍රමයට සමාන වන බවත්, එමගින් වඩාත් වේගවත් තීරණ ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. හිටපු මහජන ආරක්ෂක ප්‍රධානියා වන තෝ ලම් මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන මත පදනම් වූ නව ආර්ථික සංවර්ධන ආකෘතියක් කරා රට මෙහෙයවන බවයි.
කෙසේ වෙතත්, තනි පුද්ගලයෙකු අත බලය මෙලෙස ඒකරාශී වීම වියට්නාමයේ දේශපාලන පද්ධතිය තුළ ඒකාධිපතිවාදයක් මතු වීමට හේතු විය හැකි බවට ද ඇතැම් විදෙස් විද්වතුන් අනතුරු අඟවයි. ආරක්ෂක අංශවල ස්වයංපෝෂිතභාවය කෙරෙහි ද ඉදිරියේදී ප්‍රමුඛත්වය ලබා දෙන බව වියට්නාමයේ නව නායකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















