දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (මාර්තු 04) දිනයේ ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මාර්තු 03) පස්වරුවේ නිවේදනය කළේය.
හෙට දිනය පුරා වැසි රහිත වියලි ස්වභාවයක් පවතින අතර අළුයම් කාලයේදී ඇතැම් පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වල මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක මෙලෙස මීදුම පවතිනු ඇත.
විශේෂයෙන්ම උදෑසන කාලයේ මීදුම පවතින අවස්ථාවලදී රථවාහන පදවන්නන් වඩාත් විමසිලිමත් විය යුතු බවත්, වියලි කාලගුණයත් සමඟ පවතින දැඩි හිරු රශ්මිය පිළිබඳවත් ජනතාව අවධානය යොමු කළ යුතු බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.















