රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා අද (20) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මේ වන විට සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වන දර්ශන පරීක්ෂා කරමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. මෙලෙස මාර්ග නීති නොතකා කටයුතු කරන රියදුරන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන ඒකකයක් ක්‍රියාත්මක වන බව ද ඔහු අවධාරණය කළේය.
මේ අතර, පවතින ඉන්ධන අර්බුදය හමුවේ හඳුන්වා දුන් QR කේතය සහ ඔත්තේ – ඉරට්ටේ දින ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත්, වැඩි මිලට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් සොයා දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. මෑතකදී කොට්ටාව – පිටකොටුව මාර්ගයේ ධාවනය වූ බස් රථයක් අනෙක් මංතීරුවට ඇතුළු කර අනතුරුදායක ලෙස ධාවනය කළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන අයෙකු ද යන්න පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කුලියාපිටිය ප්‍රදේශයේදී හෙල්මට් එකකින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ, මීට පෙර ද අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයකු බවයි. ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන සහ මාර්ග ආරක්ෂාව අනතුරේ හෙළන කිසිදු පුද්ගලයකුට නිදහසක් නොලැබෙන බව රථවාහන පාලන නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේය.














