උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඉලුක් රක්ෂිතයක අද (26) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. දුම්රිය මාර්ගයේ 106 ¾ සැතපුම් කණුව අසල පිහිටි මෙම රක්ෂිත ප්‍රදේශය පුරා ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වේ. ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීම දුෂ්කර වී ඇති අතර, මේ දක්වා එය මැඩපැවැත්වීමට කිසිදු පාර්ශ්වයක් ඉදිරිපත් වී නොමැති බව ද සඳහන් වේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ දුම්රිය මාර්ගය අසල පදිංචි පුද්ගලයෙකු විසින් කිසියම් අරමුණක් ඇතිව මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක කරන බවයි. වියළි තෘණ සහිත මෙම රක්ෂිතයේ ගින්න පැතිරීම නිසා දුම්රිය මාර්ගය දෙපස දුමාරයෙන් වැසී යාමේ අවදානමක් ද මතුව තිබේ. මෙය වන සතුන්ට මෙන්ම අවට පරිසර පද්ධතියට ද දැඩි හානියක් සිදු කරන බව පාරිසරික ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණයත් සමඟ මෙවැනි ලැව්ගිනි ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බැවින්, රක්ෂිත ආශ්‍රිතව ගිනි තැබීම් සිදු නොකරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම ගින්න හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව දුම්රිය පාලක මැදිරිය අවධානයෙන් පසුවෙයි.














