නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සහතික කළ ලේඛන ලබාදෙන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) අදාළ රාජ්‍ය ආයතනවලින් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ. ලංකා ගල්අඟුරු සමාගම (LCC), බලශක්ති අමාත්‍යාංශය සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම ඇතුළු ආයතන වෙත මෙම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ ඉල්ලීම් යොමු කර ඇත්තේ මහජන මුදල් අවභාවිතයක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහාය.
2025 වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් වූ මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා සැපයූ ගල්අඟුරු තොග බාල මට්ටමේ පවතින බවටත්, ටෙන්ඩර් කොන්දේසි ඇතැම් සැපයුම්කරුවන්ට වාසි වන ලෙස වෙනස් කර ඇති බවටත් බරපතල චෝදනා එල්ල වී තිබේ. පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ලැබුණු ගල්අඟුරු නැව් කිහිපයක ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතුවූ අතර, ඒ පිළිබඳව කෝප් (COPE) කමිටුව සහ පාර්ලිමේන්තු අංශගත අධීක්ෂණ කමිටුව ද දැනටමත් විමර්ශන ආරම්භ කර ඇත. නිසි ප්‍රසම්පාදන ප්‍රමිතීන් අනුගමනය කර ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා මෙම තොරතුරු කඩිනමින් හෙළිදරව් කරන ලෙස TISL රජයෙන් ඉල්ලා සිටියි.














