වෙළඳපොළේ පවතින අධික ද්‍රවශීලතාවය හේතුවෙන් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත (Yields) අඛණ්ඩව සිව්වන සතියටත් පහත වැටී ඇති බව වාර්තා වේ. මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පහත වැටීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විශාල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලදී ගැනීමයි. දත්ත වලට අනුව 2025 දෙසැම්බර් අග භාගයේ රුපියල් බිලියන 66 ක්ව පැවති වෙළඳපොළ ද්‍රවශීලතාවය 2026 පෙබරවාරි 11 වන විට රුපියල් බිලියන 296.5 ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ මිලදී ගැනීම ද්‍රවශීලතාවය ඉහළ යාමට සෘජුවම බලපා ඇත.
පසුගිය බදාදා (11) පැවති වෙන්දේසියේදී රුපියල් බිලියන 90 ක බිල්පත් වෙනුවෙන් රුපියල් බිලියන 284 ක අධික ලංසු ප්‍රමාණයක් ලැබී තිබීම වෙළඳපොළේ පවතින දැඩි උනන්දුව පෙන්නුම් කරයි. එහිදී මාස තුනක බිල්පත් සඳහා පොලී අනුපාතය 7.72% ක් දක්වාත්, මාස හයක බිල්පත් සඳහා 8.07% ක් දක්වාත් සහ වසරක බිල්පත් සඳහා 8.31% ක් දක්වාත් පදනම් අංක කිහිපයකින් පහත වැටී ඇත. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ දැනට කෙටි කාලීන බිල්පත් සඳහා ලැබී ඇති මෙම වාසිය ඉදිරියේදී දිගුකාලීන බිල්පත් සහ බැඳුම්කර සඳහා ද බලපානු ඇති බවයි. කෙසේ වෙතත් වත්මන් පොලී අනුපාතයන් මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතවලට ආසන්න වී ඇති බැවින් මෙයින් එහාට විශාල මිල පහත වැටීමක් අපේක්ෂා කළ නොහැකි බව ද විශේෂඥයෝ මත පළ කරති.














