ප්‍රංශය සහ පෘතුගාලය අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කෙරෙන “පෝර්ටෝ ගිවිසුම” (Treaty of Porto) ඊයේ (අප්‍රේල් 12) සිට නිල වශයෙන් බලාත්මක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ඓතිහාසික හවුල්කාරිත්වය පෘතුගාල සහ ප්‍රංශ වැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් මෙන්ම වඩාත් ස්වාධීන යුරෝපයක් උදෙසා කැපවූවක් බව දෙරටේ රාජ්‍ය නායකයෝ අවධාරණය කරති.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ එවකට පෘතුගාල අගමැති ලුයිස් මොන්ටෙනෙග්‍රෝ විසින් 2025 පෙබරවාරි මාසයේදී පෝර්ටෝ නුවරදී මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා සියලුම ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමයි. ඇතැම් යුරෝපීය හවුල්කරුවන් සමඟ ප්‍රංශය මතභේද පවතින පසුබිමක පෘතුගාලය සමඟ පවතින මෙම ද්විපාර්ශ්වික සබඳතාව ඉතා විශිෂ්ඨ මට්ටමක පවතින බව ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික අංශ පවසයි.
පසුගිය පෙබරවාරි මාසයේදී පෘතුගාලයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ (António José Seguro) වෙත සුබ පැතුම් එක් කරමින් මැක්‍රොන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, වඩාත් තරගකාරී, ස්වෛරී සහ ශක්තිමත් යුරෝපයක් ගොඩනැගීම සඳහා මෙම ගිවිසුම පදනම් කරගනිමින් ලිස්බන් පාලනය සමඟ සමීපව කටයුතු කරන බවයි.














