ත්‍රිකුණාමල නගර සභාවේ ගිනි නිවන සහ හදිසි මුදාගැනීමේ අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ඒකකයේ ස්ථානාධිපතිවරයා (OIC) සහ ගිනි නිවන භටයෙකි.
කන්තලේ ප්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හලක් සඳහා 2026 වසරට අදාළ ගිනි ආරක්ෂණ සහතිකය නිකුත් කිරීම වෙනුවෙන් සැකකරුවන් රුපියල් 40,000 ක මුදලක් ඉල්ලා ඇත. පසුව එය රුපියල් 35,000 ක් දක්වා අඩු කර ඇති අතර, ඉන් රුපියල් 10,000 ක් බැංකු ගිණුමකට තැන්පත් කරන ලෙසත් ඉතිරි රුපියල් 25,000 අතින් ලබා දෙන ලෙසත් දන්වා තිබේ.
අවන්හල් හිමිකරු කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ කොමිෂන් සභාවේ නිලධාරීන්, අල්ලස් මුදලෙන් කොටසක් ලෙස රුපියල් 20,000 ක් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 2026 මාර්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.














