ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත නව ධීවර යාත්‍රා සහ දැල් ආම්පන්න බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි. නැගෙනහිර පළාත් සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 70 ක පමණ වියදමින් මෙම උපකරණ ලබාදීමට පියවර ගෙන තිබේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ පිහිටි පළාත් ධීවර අංශ කාර්යාලයේදී මෙම බෙදාදීම් සිදු විය. මිරිදිය ධීවර කර්මාන්තය වඩාත් කාර්යක්ෂම කරමින් ප්‍රදේශයේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමටත්, ඔවුන්ගේ දෛනික ආදායම් මාර්ග සුරක්ෂිත කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ධීවර සමිති නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. පළාත් සභාවේ මැදිහත් වීමෙන් ලැබුණු මෙම ආධාර මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත පවුල් රැසකට මහඟු අස්වැසිල්ලක් වනු ඇතැයි විශ්වාස කෙරේ.














