ගිනි නිවීමේ ආරක්ෂණ සහතිකයක් ලබා දීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබූ ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ අංශ භාර නිලධාරියා සහ තවත් සේවකයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් කරනු ලැබීය. අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ අදාළ සහතිකය නිකුත් කිරීම සඳහා මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවත්ය.














