ගෝලීය වශයෙන් මතුව ඇති දැඩි බලශක්ති අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය උපායමාර්ගික බලශක්ති මධ්‍යස්ථානයක් (Energy Hub) ලෙස සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පසුගිය රජයන් විසින් මෙරට ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව ඉහළ නැංවීමට නිසි පියවර නොගැනීම හේතුවෙන් වත්මන් අර්බුදය හමුවේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ජාතික ජන බලවේග රජය ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
මෙම නව ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය කිරීම මෙන්ම විවිධ ඉන්ධන නිෂ්පාදන ප්‍රවාහනය සඳහා නල පද්ධතියක් (Multi-product pipeline) ඉදිකිරීම ද සැලසුම් කර ඇත. මීට පෙර පැවති රජයන් බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ශක්තිමත් පදනමක් දැමුවේ නම් වර්තමානයේ පවතින ඉන්ධන හිඟය මීට වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමට අවස්ථාව තිබූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැනට පවතින සීමිත ගබඩා පහසුකම් හේතුවෙන් ප්‍රමාණවත් ඉන්ධන තොග රැස්කර තබා ගැනීමට නොහැකි වී ඇති අතර, ත්‍රිකුණාමලයේ ඇති මෙම ස්වභාවික සම්පත මෙතෙක් නිසි ලෙස ප්‍රයෝජනයට නොගැනීම ජාතික අපරාධයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදා ගනිමින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්, මෙය දිගුකාලීන බලශක්ති අර්බුදයකට විසඳුම් සපයන ස්ථාවර මාවතක් වනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාත්‍යන්තර සහයෝගීතාවය ඇතිව මෙම මධ්‍යස්ථානය දියුණු කිරීම හරහා කලාපීය බලශක්ති හුවමාරුව සඳහා ශ්‍රී ලංකාවට වැදගත් ස්ථානයක් හිමි කර ගැනීමට හැකි වනු ඇත. රජයේ මෙම පියවර හරහා අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම ගෝලීය බලශක්ති කම්පනයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සන්නද්ධ වනු ඇතැයි ද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.














