පවතින බලශක්ති අර්බුදයට දිගුකාලීන සහ ස්ථිර විසඳුමක් ලෙස ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය තීරණය කර ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ‘The Hindu’ පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, තාවකාලික විසඳුම් තවදුරටත් තිරසාර නොවන බැවින් ලෝක බලශක්ති වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ ඉන්ධන ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා විධිමත් උපායමාර්ගයක් අවශ්‍ය බවයි.
දෙවන ලෝක යුධ සමයේ ඉදිකරන ලද මෙම තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සහාය ලබා ගැනීමට නියමිත අතර, 2025 අප්‍රේල් මාසයේදී ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇත. දශක කිහිපයක් තිස්සේ ප්‍රමුඛතාවයක් ලබා නොදුන් මෙම ව්‍යාපෘතිය, වර්තමාන ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ඉතා වැදගත් වී තිබේ. මීට පෙර ඉන්දීය මැදිහත්වීම්වලට විරෝධය දැක්වූ ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ වත්මන් රජය, පවතින ආර්ථික හා බලශක්ති අවශ්‍යතාවන් සලකා බලා මෙම ප්‍රතිපත්තිමය තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ වන විට ව්‍යාපෘතියේ තාක්ෂණික අංශ බලශක්ති අමාත්‍යාංශය මගින් සමාලෝචනය කරමින් පවතින අතර, ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීමට නියමිතය.












