අමෙරිකා එක්සත් ජනපදයේ රසායනික කර්මාන්තශාලා ආශ්‍රිතව සිදුවන පිපිරීම් සහ ගිනිගැනීම් වැනි මාරාන්තික ආපදාවලින් මහජනතාව සහ සේවකයන් ආරක්ෂා කිරීම සඳහා පනවා තිබූ දැඩි රෙගුලාසි මාලාවක් අහෝසි කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගනිමින් සිටියි. අමෙරිකානු පරිසර ආරක්ෂණ ඒජන්සියේ (EPA) ‘ප්‍රතිචාර කළමනාකරණ වැඩසටහන’ (RMP) යටතේ ක්‍රියාත්මක වූ මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම අධික පිරිවැයක් සහිත බවට රසායනික සමාගම් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම ලිහිල් කිරීම සිදු කර ඇත.
2024 වසරේදී බයිඩන් පාලන සමය තුළ වසර 12ක උත්සාහයකින් පසු මෙම ආරක්ෂණ රෙගුලාසි ශක්තිමත් කෙරුණු අතර, ඒ යටතේ රසායනික කාන්දුවීම් හඳුනා ගැනීමේ නවීන තාක්ෂණය ස්ථාපනය කිරීම සහ හදිසි අවස්ථාවකදී සේවකයන්ට වැඩ නතර කිරීමේ බලය ලබා දීම වැනි වැදගත් පියවර ඇතුළත් විය. කෙසේ වෙතත්, නව රජය යටතේ එම නීති බොහොමයක් ඉවත් කිරීමටත්, රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා දුන් වෙබ් අඩවිය අක්‍රීය කිරීමටත් කටයුතු කර තිබේ.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ 2004 සිට 2025 දක්වා කාලය තුළ අමෙරිකාවේ සෑම දින දෙකකට වරක් රසායනික අනතුරක් වාර්තා වී ඇති බවයි. හදිසි ආපදා තත්ත්වයන්හිදී පළමු ප්‍රතිචාර දක්වන්නන්ට (First Responders) අවශ්‍ය තොරතුරු වසන් කිරීම හරහා ඔවුන්ගේ ජීවිත පවා අවදානමට ලක්වන බවට විවේචන එල්ල වේ. ට්‍රම්ප් පාලනය පවසන්නේ පවතින නීති “වඩාත් පැහැදිලි සහ ප්‍රායෝගික” මට්ටමට පත් කරන බව වුවද, විචාරකයන් පවසන්නේ මෙය මහජන ආරක්ෂාවට වඩා සමාගම්වල ලාභය වෙනුවෙන් ගත් තීරණයක් බවයි.














