මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින දරුණු යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා තමන් ඉරානය සමඟ සමීපව සාකච්ඡා පවත්වමින් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් අවධාරණය කර සිටී. කෙසේ වෙතත්, එවැනි කිසිදු සාකච්ඡාවක් ඇමෙරිකාව සමඟ සිදු නොවන බව ඉරාන රජය දිගින් දිගටම ප්‍රකාශ කරන පසුබිමක ට්‍රම්ප් විසින් සිදු කළ මෙම නවතම ප්‍රකාශය ලෝක දේශපාලන කරළිය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. රිපබ්ලිකන් පක්ෂයේ අරමුදල් රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉරානයේ මීළඟ ‘උත්තරීතර නායකයා’ (Supreme Leader) ලෙස කටයුතු කරන ලෙස එරට නායකත්වය විසින් තමන්ට නිල නොවන මට්ටමින් ආරාධනා කළ බවයි.
එම අතිශය අසාමාන්‍ය යෝජනාව තමන් වෙත ඉදිරිපත් වුවද, තමන් එය වහාම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය යුදමය වාතාවරණය සමථයකට පත් කරගැනීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයක කොටසක්ද නැතහොත් ඔහුගේ දේශපාලන උපක්රමයක්ද යන්න පිළිබඳව විදෙස් විචාරකයන් අතර විවිධ මත පළ වෙමින් පවතී. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර මෙලෙස පරස්පර විරෝධී අදහස් පළ වීම හරහා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් සංකීර්ණ වී ඇති බව පෙනෙන්නට තිබේ.














