ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට නිල අදහස් දක්වා තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ තමන්ව ඝාතනය කිරීමට ඉරානය විසින් සැලසුම් කර තිබූ කුමන්ත්‍රණ දෙකකට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බවයි.
තමන් ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළ බවත්, එම තර්ජනය මගහරවා ගැනීම සඳහා “ඔහු මාව මරා දැමීමට පෙර මම ඔහුව මරා දැමුවා” යනුවෙන් ට්‍රම්ප් ABC පුවත් සේවය සමඟ පවසා ඇත. කමේනි යනු ඉතිහාසයේ සිටි “වඩාත්ම දුෂ්ට පුද්ගලයෙකු” ලෙස ඔහු සිය Truth Social ගිණුමේ සටහන් කර තිබේ.
ඉරාන ජනතාවට සහ අහිංසක ඇමරිකානුවන්ට එරෙහිව සිදු කළ අපරාධවලට යුක්තිය ඉටු වී ඇති බව පවසන ට්‍රම්ප්, මෙය ඉරාන ජනතාවට තම රට නැවත අත්පත් කර ගැනීමට ලැබුණු හොඳම අවස්ථාව බව පෙන්වා දෙයි. මෙම මෙහෙයුම සඳහා ඊශ්‍රායලයේ සහාය ද හිමි වූ බව ඔහු තහවුරු කරයි.
ඉරානය විසින් අද දිනයේ එල්ල කිරීමට නියමිත ප්‍රහාර මාලාව පිළිබඳව ද ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. “ඔවුන් එසේ නොකරන්නේ නම් හොඳයි, මන්ද ඔවුන් එසේ කළහොත් මෙතෙක් ලෝකය නොදුටු දරුණුතම බලය යොදා අප ඔවුන්ට පහර දෙනවා,” යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කර ඇත.















