ඉරාන යුද්ධය ආරම්භ වී මාසයක් ගතවන මොහොතේ, ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ප්‍රකාශ කළේ, ඇමෙරිකානු හමුදා අරමුණු ඉතා ඉක්මනින් (“very shortly”) සපුරා ගැනීමට හැකිවනු ඇති බවයි. යුද්ධය හේතුවෙන් පවතින ආර්ථික පීඩනය කෙටිකාලීන වනු ඇති බව පවසමින් ඔහු ඇමෙරිකානු ජනතාව දිරිමත් කිරීමට උත්සාහ කළේය.
මිනිත්තු 20ක දේශනයක් පවත්වමින් ට්‍රම්ප් සඳහන් කළේ, ඇමෙරිකාවට තර්ජනයක් වන ඉරාන පාලනය මර්දනය කිරීම ජාතික අවශ්‍යතාවක් බවයි. අවශ්‍ය වුවහොත් ඉරානයට “අතිශය ප්‍රබල” (extremely hard) ප්‍රහාර එල්ල කරන බවට ඔහු දැඩි අනතුරු ඇඟවීමක් ද කළේය. ඇමෙරිකානු හමුදා දැනටමත් යුද පිටියේ සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවත්, යුද්ධය අවසාන අදියරට පැමිණ ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර වීම නිසා ගෝලීය වශයෙන් තෙල් මිල සහ පොහොර මිල ඉහළ යාම ඕස්ට්‍රේලියාව වැනි රටවල කෘෂිකාර්මික ක්ෂේත්‍රයට පවා බලපා ඇති පසුබිමක, මෙම යුද්ධය තවදුරටත් ඇදී යාම පිළිබඳව ලෝක අවධානය යොමුව තිබේ. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟම ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි ද සිය හමුදාවන්ට ඕනෑම ප්‍රහාරයකට සූදානම් වන ලෙස අණ කර ඇති බැවින්, ඉදිරි සති කිහිපය මැදපෙරදිග කලාපයට ඉතා තීරණාත්මක වනු ඇත.














