ඉරානය සතු සෙරීකෘත යුරේනියම් තොගය අත්පත් කරගැනීම සඳහා එරට භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ගොඩබිම් හමුදා යවා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව වාර්තා වේ. ඉරානය සතුව මේ වන විට න්‍යෂ්ටික ආයුධ නිපදවීමට ඉතා ආසන්න මට්ටමේ පවතින යුරේනියම් කිලෝග්‍රෑම් 440කට අධික ප්‍රමාණයක් පවතින බව ඇමරිකානු බුද්ධි අංශ විශ්වාස කරයි. මෙම යුරේනියම් තොගය ඉරානය සතු වීම ලෝක ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව පවසන ට්‍රම්ප් පාලනය ඒවා විනාශ කිරීමට හෝ අත්පත් කරගැනීමට මෙම අවදානම් සහගත තීරණය ගැනීමට සැරසෙයි.
හමුදා විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය ලෝක ඉතිහාසයේ දරුණුතම සහ සංකීර්ණතම හමුදා මෙහෙයුමක් වනු ඇති බවයි. ඉරානයේ ඉස්ෆහන් වැනි නගරවල පොළොව යට අඩි සිය ගණනක් ගැඹුරේ පිහිටි මෙම මධ්‍යස්ථාන වෙත ඇතුළු වීමට ඇමරිකානු පැරෂුට් භටයන් සහ විශේෂ බලකායන් යෙදවීමට සිදුවනු ඇත. රොයිටර් පුවත් සේවයට අනුව මෙම මෙහෙයුම සඳහා දින කිහිපයක් හෝ සති කිහිපයක් ගතවිය හැකි අතර එහිදී ඇමරිකානු සෙබළුන්ට ඉරාන හමුදාවල දැඩි ප්‍රතිප්‍රහාරවලට මුහුණ දීමට සිදුවනු ඇත.
පසුගිය වසරේ එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් මෙම මධ්‍යස්ථානවල පිවිසුම් මාර්ග දැඩි ලෙස විනාශ වී ඇති බැවින් යුරේනියම් බහාලුම් සොයා ගැනීමට විශාල යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් සුන්බුන් ඉවත් කිරීමට ද ඇමරිකානු හමුදාවට සිදුවේ. මෙවැනි මෙහෙයුමක් අතරතුර යම් හෙයකින් න්‍යෂ්ටික කාන්දුවක් හෝ විශාල අනතුරක් වුවහොත් එය මුළු කලාපයටම බලපාන මහා විනාශයක් විය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. මේ මොහොතේ ට්‍රම්ප් සිය අවසන් තීරණය ප්‍රකාශ කර නොමැති වුවද ඉරානයේ න්‍යෂ්ටික බලය අඩපණ කිරීම ඔහුගේ ප්‍රධානතම ඉලක්කය වී තිබේ.














