ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග කලාපයේ පවතින මිලිටරි ප්‍රයත්නයන් “අඩු කිරීමට” හෝ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සලකා බලමින් සිටින බව ප්‍රකාශ කර තිබේ. සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාව හරහා අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉරානයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව දියත් කළ මෙහෙයුම්වල මූලික අරමුණු සපුරා ගැනීමට ඇමෙරිකාව ඉතා ආසන්න වී ඇති බවයි. විශේෂයෙන්ම ඉරානයේ මිසයිල හැකියාවන් අඩපණ කිරීම සහ එරට ගුවන් හා නාවික හමුදා ශක්තිය සැලකිය යුතු ලෙස තුරන් කිරීමට හැකි වීම මෙම තීරණයට හේතු වී ඇත.
ජනාධිපතිවරයා විසින් සලකුණු කර ඇති ඉලක්ක ලැයිස්තුවට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඉරාන තර්ජන අවම කිරීම යන කරුණු කෙරෙහි ඇමෙරිකාව මේ වන විටත් විශාල ජයග්‍රහණ අත්කර ගෙන තිබේ. කෙසේ වෙතත්, නේටෝ රටවල සහාය අපේක්ෂා කරන අතරතුරම ඇමෙරිකානු හමුදා මෙලෙස ඉවත් කර ගැනීමට සූදානම් වීම ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව ඇත. මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් මැදපෙරදිග කලාපයේ බල තුලනය සහ ගෝලීය තෙල් මිල කෙරෙහි එය සෘජුවම බලපානු ඇතැයි විදේශ වාර්තා පෙන්වා දෙයි.















