ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (01) පැවති පෞද්ගලික දිවා භෝජන සංග්‍රහයක් අතරතුරදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. ඉරාන යුද්ධයේදී ඇමෙරිකාවට සහාය දීමට මැක්‍රෝන් මැලි වන බව පවසමින්, ඔහුගේ පෞද්ගලික ජීවිතය සහ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රෝන් (Brigitte Macron) සම්බන්ධ කර ගනිමින් ට්‍රම්ප් මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර ඇත.
ට්‍රම්ප් සිය කතාවේදී ප්‍රකාශ කර ඇත්තේ, “මම ප්‍රංශයේ මැක්‍රෝන්ට කතා කළා, ඔහුගේ බිරිඳ ඔහුට ඉතා නරක ලෙස සලකනවා. ඔහු තවමත් හකුළට වැදුණු පහරින් (Right to the jaw) සුවය ලබමින් ඉන්නේ” යනුවෙනි. මෙය 2025 වසරේ මැයි මාසයේදී වියට්නාමයේ සංචාරයක නිරත වූ අවස්ථාවක බ්‍රිජිට් මැක්‍රෝන් විසින් ජනාධිපතිවරයාගේ මුහුණට පහරක් එල්ල කරන බවට පෙනී යන පරිදි ප්‍රචාරය වූ වීඩියෝවක් පාදක කර ගනිමින් කළ ප්‍රකාශයකි. කෙසේ වෙතත්, මැක්‍රෝන් එම අවස්ථාවේදීම එම වීඩියෝව අසත්‍ය තොරතුරු (Disinformation) පතුරුවන ව්‍යාපාරයක කොටසක් බව පවසා ප්‍රතික්ෂේප කර තිබුණි.
ධවල මන්දිරයේ යූ ටියුබ් (YouTube) නාලිකාවේ කෙටි වේලාවක් ප්‍රදර්ශනය වී පසුව ඉවත් කරන ලද මෙම වීඩියෝව හරහා ට්‍රම්ප් සහ ඔහුගේ යුරෝපීය මිත්‍ර පාර්ශවයන් අතර පවතින විරසකය තවදුරටත් උත්සන්න වී තිබේ. ඉරාන යුද්ධය සම්බන්ධයෙන් නේටෝ (NATO) රටවල් දක්වන මන්දගාමී ප්‍රතිචාරය හේතුවෙන් ට්‍රම්ප් ඔවුන්ව “කඩදාසි කොටින්” (Paper tigers) ලෙස හඳුන්වමින් දිගින් දිගටම විවේචනය කරමින් සිටියි.














