ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලනය සහ යුරෝපීය මිත්‍ර පාර්ශවයන් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවය සමනය කිරීමේ අරමුණින්, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) සහ පෙන්ටගනයේ ප්‍රතිපත්ති ප්‍රධානී එල්බ්‍රිජ් කොල්බි (Elbridge Colby) මේ දිනවල යුරෝපයේ සංචාරයක නිරත වෙති.
පසුගිය වසරේදී උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් යුරෝපීය රටවල් විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශ නිසා ඇති වූ දැඩි මතභේදකාරී තත්ත්වය සමනය කිරීමට මාර්කෝ රුබියෝ උත්සාහ කළේය. ඔහු මුියුනිච් ආරක්ෂක සමුළුවේදී (Munich Security Conference) සිය දේශනය පවත්වමින් ඇමෙරිකාව සහ යුරෝපය අතර පවතින ඓතිහාසික හා සංස්කෘතික බැඳීම අගය කළ අතර, ඇමෙරිකාව යුරෝපය තනි නොකරන බවට සහතිකයක් ලබා දීමට උත්සාහ කළේය.
රුබියෝ මහතා “සුහද” ස්වරූපයකින් කතා කළ ද, ඔහුගේ පණිවිඩය පැහැදිලි විය. යුරෝපය සිය ආරක්ෂාව සඳහා වැඩි පිරිවැයක් දැරිය යුතු බවත්, ඇමෙරිකාව සිය අවධානය ඉන්දු-පැසිෆික් කලාපය වෙත (චීනය ඉලක්ක කර ගනිමින්) වැඩි වශයෙන් යොමු කරන බවත් ඔහු අවධාරණය කළේය. යුරෝපය “තමන්ගේම දෙපයින් සිටගත යුතු” බවත්, හුදෙක් ඇමෙරිකාව මතම යැපීම නතර කළ යුතු බවත් මෙහිදී කියැවිණි.
පසුගිය මාසයේදී ග්‍රීන්ලන්තය (Greenland) ලබා ගැනීමට ට්‍රම්ප් මහතා දැරූ උත්සාහය සහ ඩෙන්මාර්කය සමඟ ඇති වූ මතභේදය නිසා යුරෝපීය නායකයන් තුළ ඇමෙරිකාව කෙරෙහි වූ විශ්වාසය බිඳ වැටී තිබේ. රුබියෝගේ කතාවට සමුළුවේදී අත්පොලසන් නාදයක් හිමි වුවද, යුරෝපීය නායකයන් පවසන්නේ ඇමෙරිකානු සහතිකය හුදෙක් වචනවලට පමණක් සීමා වේදැයි තමන් තුළ සැකයක් පවතින බවයි.
පෙන්ටගන නිලධාරී එල්බ්‍රිජ් කොල්බි විසින් ද අවධාරණය කරනු ලැබුවේ නේටෝ (NATO) සංවිධානයේ යුරෝපීය සාමාජිකයන් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 5%ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කළ යුතු බවයි. මෙය මීට පෙර පැවති 2%ක ඉලක්කය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමකි.














