වොෂින්ටන් අගනුවර පිහිටි ඓතිහාසික නැෂනල් මෝල් (National Mall) පරිශ්‍රයේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මියගිය ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් නිරූපණය කෙරෙන අඩි 12ක් උසැති උපහාසාත්මක පිළිරුවක් පසුගිය අඟහරුවාදා (10) අලුයම ප්‍රදර්ශනය කර තිබේ. “The Secret Handshake” නමැති නිර්නාමික කලාකරුවන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද මෙම පිළිරුව, සුප්‍රකට ‘ටයිටැනික්’ චිත්‍රපටයේ ජැක් සහ රෝස්ගේ රොමැන්ටික් ඉරියව්ව ප්‍රතිනිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
පිළිරුව පාමුල ඇති සමරු පලකයේ මෙය “ඛේදජනක ආදර කතාවක්” ලෙස හඳුන්වා දී ඇති අතර, සුඛෝපභෝගී සංචාර, සාද සහ රහස් සටහන් මත ගොඩනැඟුණු ඔවුන් දෙදෙනාගේ මිතුදම මෙයින් උපහාසයට ලක් කර ඇත. එසේම, ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ ලිපිගොනු ප්‍රසිද්ධ කිරීමේදී අධිකරණ දෙපාර්තමේන්තුව සිදු කළ සංස්කරණයන් විවේචනය කරමින් “Make America Safe Again” යනුවෙන් සඳහන් බැනර් කිහිපයක් ද එහි ප්‍රදර්ශනය කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇති ධවල මන්දිර ප්‍රකාශිකා ඇබිගායිල් ජැක්සන්, මෙය දේශපාලනික වශයෙන් පෙලඹවීමක් මත සිදු කළ පහත් ක්‍රියාවක් බව පවසා ඇත. ජනාධිපති ට්‍රම්ප් සහ එප්ස්ටයින් අතර පැවති පැරණි මිතුදම පිළිබඳව දිගින් දිගටම විවිධ මතවාද පවතින අතර, ජනාධිපතිවරයා නිරන්තරයෙන්ම ප්‍රකාශ කර ඇත්තේ එප්ස්ටයින්ගේ අපරාධ ක්‍රියා පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවයි.














