ග්‍රීන්ලන්තයේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල බව පවසමින් එරටට ‘රෝහල් නෞකාවක්’ (Hospital Ship) එවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. “අපට ස්තූතියි, නමුත් අවශ්‍ය නැහැ” (No thanks) යනුවෙන් පවසමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තම රටේ පුරවැසියන්ට නොමිලේ සෞඛ්‍ය පහසුකම් සපයන දියුණු පොදු සෞඛ්‍ය පද්ධතියක් පවතින බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ අහඹු ප්‍රකාශ නිකුත් කරනවා වෙනුවට සෘජුව සාකච්ඡා කරන ලෙස ද ඔහු ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේය.
ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන කලාපයක් වන ග්‍රීන්ලන්තය ඇමරිකාව විසින් පාලනය කළ යුතු බවට ට්‍රම්ප් පසුගිය කාලය පුරාම විවිධ ප්‍රකාශ කළ අතර, එය ජාතික ආරක්ෂාවට වැදගත් බව ඔහු පවසයි. පසුගිය සෙනසුරාදා AI තාක්ෂණයෙන් නිපදවන ලද රෝහල් නෞකාවක රූපයක් Truth Social හි පළ කරමින් ඔහු කියා සිටියේ එහි සිටින රෝගීන් රැකබලා ගැනීමට තමන් නෞකාවක් එවන බවයි. කෙසේ වෙතත්, ඩෙන්මාර්ක බලධාරීන් ද මෙය විවේචනය කර ඇති අතර, ධනය හෝ රක්ෂණය මත තීරණය වන ඇමරිකානු සෞඛ්‍ය ක්‍රමයට වඩා ග්‍රීන්ලන්තයේ ක්‍රමය උසස් බව ඔවුන් පෙන්වා දී තිබේ.














