හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහාම විවෘත නොකළහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඉදිරි පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය පූර්ණ වශයෙන් විවෘත කිරීමට ඉරානය පියවර නොගතහොත්, එරට ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර එය අනෙකුත් ඉලක්ක දක්වා ව්‍යාප්ත කරන බවයි. එමෙන්ම මෙම මුහුදු සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම එයින් ප්‍රතිලාභ ලබන සෙසු රටවල් ද දැරිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තර්ජනයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ඛාතම් අල්-අන්බියා මූලස්ථානය ප්‍රකාශ කළේ, ඉරානයේ ඉන්ධන හෝ බලශක්ති යටිතල පහසුකම්වලට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් කලාපය පුරා පිහිටි අමෙරිකානු සහ ඊශ්‍රායල බලශක්ති, තොරතුරු තාක්ෂණ සහ මුහුදු ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන වෙත “සමස්ත” (Comprehensive) ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. ඉරානය සහ අමෙරිකාව අතර හටගෙන ඇති මෙම අලුත්ම ගැටුම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබේ.














