ඉරානයේ ස්වාභාවික ගෑස් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් නැවත ප්‍රහාර එල්ල නොකරන ලෙස තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දැනුම් දුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (මාර්තු 19) ප්‍රකාශ කළේය. ඉරාන ප්‍රහාර හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ.
ලොව විශාලතම ගෑස් නිධියට අයත් ඉරාන කොටස වන ‘සවුත් පාර්ස්’ (South Pars) වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසුව, ඉරානය විසින් කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී. ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි (Sanae Takaichi) සමඟ පැවති හමුවකදී ට්‍රම්ප් කියා සිටියේ, “මම ඔහුට (නෙතන්යාහුට) කිව්වා එවැනි දේ කරන්න එපා කියලා, ඔහු එය කරන්නේ නැහැ” යනුවෙනි.
කටාර් රාජ්‍යය වැනි ‘අහිංසක’ රටවල් ඉලක්ක කරගනිමින් ඉරානය නැවත ප්‍රහාර එල්ල නොකරන්නේ නම් ඊශ්‍රායලය ද ප්‍රහාර එල්ල නොකරන බව ට්‍රම්ප් අවධාරණය කළේය. එහෙත්, ඉරානය නැවතත් එවැනි ක්‍රියාවක නිරත වුවහොත්, ඉරානය මෙතෙක් අත්නොවිඳි දැවැන්ත බලයක් යොදාගනිමින් මුළු සවුත් පාර්ස් ගෑස් නිධියම සම්පූර්ණයෙන් විනාශ කරන බවට ඔහු ‘Truth Social’ ගිණුම හරහා දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.














