ඉරානය සිය යුරේනියම් පිරිපහදු කිරීමේ (Uranium enrichment) කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (23) ප්‍රකාශ කළේය. මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ බලශක්ති උත්පාදනය වැනි සිවිල් අවශ්‍යතා (Civilian purposes) සඳහා පවා යුරේනියම් පිරිපහදු නොකිරීමට ඉරානය මෙහිදී එකඟතාව පළ කර ඇති බව ට්‍රම්ප් පැවසීමයි.
සාමාන්‍යයෙන් රටකට තම බලශක්ති අවශ්‍යතා සඳහා යම් මට්ටමකට යුරේනියම් පිරිපහදු කිරීමට ජාත්‍යන්තර අවසරය හිමි වුවද, ට්‍රම්ප් පවසන පරිදි ඉරානය දැන් එම අයිතියෙන් පවා බැහැර වීමට තීරණය කර තිබේ. ඉරානය සතුව දැනට පවතින පිරිපහදු කළ යුරේනියම් තොග (Nuclear dust) ලබා ගැනීමට ද ඇමරිකාව බලාපොරොත්තු වන අතර එකඟතාවයකට පැමිණි පසු ඇමරිකානු නිලධාරීන් සෘජුවම ගොස් එම තොග ලබා ගන්නා බව ට්‍රම්ප් අවධාරණය කළේය. ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් යන ඇමරිකානු නියෝජිතයින් ඉකුත් ඉරිදා රාත්‍රිය වන තෙක් ඉරාන බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා ඉතා පරිපූර්ණ මට්ටමක පැවැති බව ජනාධිපතිවරයා සඳහන් කරයි. මෙම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර දින පහකට අත්හිටුවීමට ද ට්‍රම්ප් පියවර ගෙන ඇත. කෙසේ වෙතත් ඉරාන රජය මෙම සාකච්ඡා පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර මෙය හුදෙක් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් පමණක් බව ඇතැම් විදෙස් වාර්තා පෙන්වා දෙයි.














