ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දී තිබූ පැය 48ක කාලසීමාව අවසන් වීමට පෙර එය දින 5කට කල් දැමීමට ඔහු පියවර ගෙන තිබේ. ඉරානය සමඟ පැවැති සාකච්ඡා ඉතා සාර්ථක බවත් ඉදිරි දින පහ ඇතුළත එකඟතාවයකට පැමිණිය හැකි බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළද, ඉරානය එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප්ගේ මෙම පසුබැසීම දැඩි ලෙස උපහාසයට ලක් කර ඇත. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් පරිපාලනයේ හිටපු ත්‍රස්ත මර්දන උපදේශක ජෝ කෙන්ට් (Joe Kent) සඳහන් කර ඇත්තේ යුද්ධය සමනය කිරීමට නම් පළමුව ඊශ්‍රායලය පාලනය කළ යුතු බවයි.
ඇමරිකාව සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය සමනය කිරීමට උත්සාහ කරන සෑම විටම ඊශ්‍රායලය විසින් දැවැන්ත ප්‍රහාර එල්ල කර එම සාකච්ඡා බිඳ දැමීමට කටයුතු කරන බවට ඔහු චෝදනා කරයි. ඊශ්‍රායලය පාලනය නොකළහොත් සාකච්ඡා අසාර්ථක වී යුද්ධය තවදුරටත් වර්ධනය වීම වැළැක්විය නොහැකි බව ඔහුගේ මතයයි. තෙල් මිල පහත දැමීම සඳහා ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශ කරන බව පවසන ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට නම් තම රටට එල්ල වූ ප්‍රහාරවලින් විනාශ වූ බලාගාර යළි ගොඩනැගිය යුතු බව අවධාරණය කරයි.














