අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් සිදුකළ නවතම ප්‍රකාශයත් සමඟ ලෝක දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් අද (01) වාර්තා විය. සති දෙකක් හෝ තුනක් ඇතුළත ඉරානයට එල්ල කරන හමුදා ප්‍රහාරවලින් අමෙරිකාව ඉවත් වීමට සූදානම් බව ඔහු සඳහන් කර තිබේ.
ඉරානය සමඟ විශේෂ ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය නොවන බවත්, ඉදිරි සති කිහිපය ඇතුළත හමුදා ක්‍රියාමාර්ග අවසන් කිරීමට අමෙරිකාවට හැකි බවත් ජනපති ට්‍රම්ප් පවසයි. මෙම ප්‍රකාශයත් සමඟ ආසියානු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන පිබිදීමක් ඇති වූ අතර, ජපානයේ නිකේයි (Nikkei 225) දර්ශකය 4%කින් සහ දකුණු කොරියාවේ කොස්පි (Kospi) දර්ශකය 6%කට වඩා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, යුද්ධය ආරම්භ වීමට පෙර තිබූ මට්ටමට වඩා මෙම අගයන් තවමත් පහළ මට්ටමක පවතී.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) පවසන්නේ චීනය සහ රුසියාව ඉරානයට සහාය දීමට දරන උත්සාහයන් පිළිබඳව වොෂින්ටනය දැඩි අවධානයෙන් පසුවන බවයි. මේ අතර, බ්‍රිතාන්‍ය රජය සිය මිත්‍ර රටවල් ආරක්ෂා කිරීම සඳහා අතිරේක හමුදා සහ නවීන ගුවන් ආරක්ෂණ පද්ධති මැදපෙරදිගට යෙදවීමට තීරණය කර ඇත. කටාර් රාජ්‍යය ඉල්ලා සිටින්නේ බලශක්ති සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් සියලු පාර්ශවයන් වැළකී සිටිය යුතු බවයි.
යුද ආතතිය මඳක් ලිහිල් වීමේ සේයාවන් දර්ශනය වීමත් සමඟ, මේ මාසය තුළ රන් මිල 15%කින් පමණ පහත වැටී තිබේ. මෙය 2008 වසරෙන් පසු වාර්තා වූ විශාලතම මාසික මිල පහත වැටීම ලෙස ඉතිහාසයට එක්වේ. හෙට දිනයේදී මැදපෙරදිග තත්ත්වය පිළිබඳව ජනපති ට්‍රම්ප් විසින් සිදු කිරීමට නියමිත විශේෂ ප්‍රකාශය දෙස ලෝකයම අවධානයෙන් බලා සිටියි.














