ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉදිරි සති දෙක ඇතුළත සිදු කිරීමට නියමිතව තිබූ චීන සංචාරය කල් දැමීමට චීන රජය එකඟ වී ඇති බව ධවල මන්දිරය ඊයේ (18) නිවේදනය කළේය. ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලින් ලීවිට් (Karoline Leavitt) ප්‍රකාශ කළේ ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ජනාධිපතිවරයාට මෙරට රැඳී සිටීමට සිදුව ඇති බවයි. මේ හේතුවෙන් සංචාරය සඳහා නව දිනයක් නියම කිරීමට දෙපාර්ශවයම මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පසුගිය අඟහරුවාදා අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් ද පවසා සිටියේ “ඉරාන යුද්ධයේ අවශ්‍යතා” (Demands of the Iran war) සලකා බලා තම ආසියානු සංචාරය තවත් සති පහක් හෝ හයක් ඇතුළත සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් ඒ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් තහවුරු කර නොමැත. වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසා සිටියේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට මඟ පෙන්වීම සඳහා රාජ්‍ය නායක මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය අත්‍යවශ්‍ය වන බවත්, මෙම සංචාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ අඛණ්ඩව සන්නිවේදනය කරන බවත්ය.
මෙම සංචාරය කල් යාම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය ගෝලීය දේශපාලනයට කෙතරම් බලපා ඇත්ද යන්න මනාව පැහැදිලි කරයි. විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘත කිරීමට චීනයේ සහාය ලබා ගැනීම ඇතුළු තීරණාත්මක කරුණු කිහිපයක් මෙම ඉදිරි හමුවේදී සාකච්ඡාවට ලක් වීමට නියමිතව තිබුණි.














