ඉරානය සමඟ පවතින යුද්ධය සිය උපායමාර්ගික ඉලක්ක සපුරා ගනිමින් පවතින බවත්, ඉදිරි සති දෙක තුන ඇතුළත එය අවසන් වනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (01) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. මිනිත්තු 20ක පමණ කාලයක් ජාතිය ඇමතූ ජනාධිපතිවරයා, මෙම යුද්ධය ඇමෙරිකාවේ අනාගතය වෙනුවෙන් කළ “ආයෝජනයක්” ලෙස හැඳින්වූ නමුත්, යුද්ධය අවසන් කිරීමේ නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව පවතින ප්‍රධාන ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දීමට ඔහු අපොහොසත් විය.
ජනාධිපතිවරයා නැවතත් අවධාරණය කළේ ඉරානය “ශිලා යුගයට” (Stone Age) ඇද දමන මට්ටමේ ප්‍රහාර එල්ල කරන බවයි. යුද මෙහෙයුම් අවසන් අදියරට පැමිණ ඇති බව ඔහු පැවසුවද, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ රජය ට්‍රම්ප් ලබා දෙන මෙම සති තුනක කාලසීමාවට එකඟ වන්නේද යන්න මෙතෙක් පැහැදිලි නැත. විශේෂයෙන්ම ‘පාස්ඕවර්’ උත්සවය ආරම්භයේදීම ටෙල් අවිව් නගරයට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වීම හමුවේ ඊශ්‍රායලයේ ස්ථාවරය තීරණාත්මක වනු ඇත.
මීට දින කිහිපයකට පෙර ධවල මන්දිරය විසින් ඉරානය වෙත ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සාම සැලැස්ම පිළිබඳව ජනාධිපතිවරයා සිය කතාවේදී කිසිදු සඳහනක් නොකිරීම දේශපාලන විචාරකයන්ගේ පුදුමයට හේතු වී තිබේ. ඉරානය සතු යුරේනියම් තොග අත්පත් කර ගැනීම වැනි ප්‍රධාන කොන්දේසිවලින් ඇමෙරිකාව දැන් ඉවත් වී ඇත්ද යන්න පිළිබඳව ද දැඩි අවිශ්වාසයක් මතුව ඇත. පවතින මෙම අවිනිශ්චිත භාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර කොටස් වෙළෙඳපොළේ ද පසුබෑමක් දක්නට ලැබේ.














