මැදපෙරදිග යුද්ධය පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යුද්ධය ඉතා ඉක්මනින් නිමා වනු ඇති බවයි. ඉරානයේ පහර දීමට ස්ථානයක් සොයාගැනීමට පවා අපහසු වන තරමට ප්‍රහාර එල්ල කර ඇති බව ඔහු සඳහන් කර සිටියි. එහෙත් ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා පවසන්නේ ඉරානයට එරෙහි ප්‍රහාර සති එකකට දෙකකට සීමා කළ නොහැකි බවයි. ඉරාන රජය පෙරළීමට තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇති බව ඊශ්‍රායල අමාත්‍යවරුන්ගේ මතය වී තිබේ.
මේ අතර යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර තීරණාත්මක සිදුවීම් රැසක් වාර්තා වේ. හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා දෙකකට ප්‍රහාර එල්ල වීමත් සමඟ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති අතර ඉදිරියේදී මෙය ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරානය අනතුරු අඟවයි. එමෙන්ම ඉරාකයේ බස්රා වරායට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් ඇති අතර එම වරායේ තෙල් අපනයන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර ඇත.
යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 සිට මේ දක්වා ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරු සහ තානාපති කාර්යාල ඇතුළු ස්ථාන 25කට ඉරානය ප්‍රහාර එල්ල කර තිබේ. එමෙන්ම ගල්ෆ් කලාපයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා 13ක් මේ වන විට ප්‍රහාරයන්ට ලක්ව ඇත. මේ අතර කැලිෆෝනියා ප්‍රාන්තයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට FBI ආයතනය කළ අනතුරු ඇඟවීම මත එරට ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන අතර ඊශ්‍රායලයට එරෙහිව හිස්බුල්ලා සංවිධානය ද රොකට් ප්‍රහාර 150ක් එල්ල කරමින් යුද්ධයට සෘජුවම දායක වී සිටියි.













