හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීමට ඉරානය කටයුතු නොකළහොත් ලබන අඟහරුවාදා වන විට එරට බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. අද (අප්‍රේල් 05) සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඉතා රළු සහ අපහාසාත්මක භාෂාවකින් මෙම තර්ජනය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව මීට මාසයකට පෙර ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, ඉරානය විසින් ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගත්තේය. ජනාධිපති ට්‍රම්ප් සිය සටහන අවසන් කරමින් දැඩි ලෙස පවසා සිටියේ පිස්සු තිරිසනුන් ලෙස හඳුන්වමින් අදාළ සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් නිරයේ ජීවත් වීමට සූදානම් වන ලෙසත්ය. ඔහු මෙම පාස්කු ඉරිදා උදෑසන තැබූ සටහන අවසන් කර තිබුණේ උපහාසාත්මක වැකියක් ද එක් කරමිනි.
මේ අතර, ඉරානය තුළදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු ගුවන් යානයක සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු අමෙරිකානු හමුදාව විසින් බේරා ගැනීමෙන් පසුව, ජනාධිපතිවරයා සඳුදා දිනයේදී ඕවල් කාර්යාලයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බව ද නිවේදනය කර ඇත.














