අමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුදමය වාතාවරණය මධ්‍යයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, ඉරාන බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දින පහක කාලයකට අත්හිටුවන ලෙස තමන් ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන් බවයි. පසුගිය දින දෙක පුරා දෙරට අතර පැවති සාකච්ඡා “ඉතා යහපත් සහ ඵලදායී” මට්ටමක පැවතීම මීට හේතුව බව ඔහු පවසයි.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡා තවදුරටත් ඉදිරි සතිය පුරාම පවත්වන බව ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. සති තුනකට අධික කාලයක් පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වයම “ගැඹුරු සහ විස්තීර්ණ” එකඟතාවයකට පැමිණීම මෙහි අරමුණයි. කෙසේ වෙතත්, ඉරාන පාර්ශ්වය මෙවැනි සාකච්ඡාවක් පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති පසුබිමක, මෙම දින පහක කාලය කලාපීය සාමය උදෙසා තීරණාත්මක වනු ඇත.














