ඉරාන යුද්ධයේ වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක අවධානය යොමු වූ දැඩි ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ. ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ ජනාධිපතිවරයා අවධාරණය කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර නිදහස් කරන තෙක් ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බවයි. “එතෙක් අප ඉරානය අමතක වී යන ලෙස හෝ ඔවුන් පවසන පරිදි ගල් යුගයට යන තෙක්ම ප්‍රහාර එල්ල කරනවා” යැයි ඔහු පවසා ඇත.
මේ අතර ඉරානය විසින් සටන් විරාමයක් ඉල්ලා ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍යාංශය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. එය අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි. මැදපෙරදිග යුද්ධය සඳහා සහාය නොදක්වනනේ නම් නේටෝ (NATO) සංවිධානයෙන් ඇමරිකාව ඉවත් කර ගැනීමට පවා තමන් සලකා බලමින් සිටින බව ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර දේශපාලනය තුළ දැඩි කැළඹීමක් ඇති කර තිබේ. කෙසේ වෙතත් 2023 වසරේ සම්මත වූ පනතක් හේතුවෙන් ඇමරිකාවට නේටෝ සංවිධානයෙන් ඉවත් වීම එතරම් පහසු කටයුත්තක් නොවන බව විචාරකයෝ පවසති.
මෙම ප්‍රකාශයත් සමඟ කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇතැයි බොහෝ දෙනා බිය පළ කරති. මිලියන සංඛ්‍යාත ජනතාවක් ට්‍රම්ප්ගේ මෙම විශේෂ ප්‍රකාශය සජීවීව නරඹමින් සිටි අතර, ඉහළ යන ඉන්ධන මිල සහ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඇමරිකාව අනුගමනය කරන මෙම දැඩි පිළිවෙත පිළිබඳව විවිධ රටවලින් විරෝධතා ද මතු වෙමින් පවතී. ඉදිරි පැය කිහිපය තුළ ඉරානය මෙයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව ලෝකයම අවධානයෙන් පසුවෙයි.
















