ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා අද (අප්‍රේල් 07) රාත්‍රියේ අතිශය බරපතළ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ “මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ විනාශ වනු ඇති අතර, එය කිසිදා යළි ගොඩනැඟිය නොහැකි වනු ඇති” බවයි. ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඔහු ලබා දුන් කාලසීමාව (Deadline) අවසන් වීමට පැය කිහිපයකට පෙර මෙම සටහන තබා තිබේ.
මෙම ප්‍රකාශය හරහා ඉරානයට එරෙහිව දැවැන්ත සහ ආපසු හැරවිය නොහැකි මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමෙරිකාව සූදානම් වන බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින ගැටුම මෙන්ම කාග් දූපතට එල්ල වූ ප්‍රහාරවලින් පසු පවතින යුදමය වාතාවරණය මෙම ප්‍රකාශයත් සමඟ තවදුරටත් උග්‍ර වී තිබේ.
ලෝක බලවතුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම තත්ත්වය සමනය කිරීමට උත්සාහ කරමින් සිටියද, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම නවතම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපය පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇත. මේ වන විට ඇමෙරිකානු සන්නද්ධ හමුදා ඉහළම සූදානමකින් (High Alert) පසුවන බව ද විදේශීය මාධ්‍ය වාර්තා කරයි.













