පසුගිය පෙබරවාරි 01 වනදා සිට අතුරුදහන්ව සිටින 84 හැවිරිදි නැන්සි ගුත්‍රි (Nancy Guthrie) සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන පසුබිමක, ඇරිසෝනාහි ටක්සන් (Tucson) නගරයේ කාන්තාර ප්‍රදේශයක තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ. ප්‍රකට රූපවාහිනී නිවේදිකා සවනා ගුත්‍රිගේ (Savannah Guthrie) මව වන නැන්සි, ඇය පදිංචිව සිටි නිවසින් පැහැරගෙන යන්නට ඇති බවට බලධාරීන් සැක පළ කරයි.
ඊයේ (මාර්තු 12) සොයාගත් මෙම මළ සිරුර සම්බන්ධයෙන් ටක්සන් පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ එය නැන්සි ගුත්‍රිගේ වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි. මූලික විමර්ශනවලට අනුව එම මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු සාපරාධී සැකයක් (Foul play) මතු වී නොමැති නමුත්, නැන්සිගේ අතුරුදහන් වීම පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින බව පීමා ප්‍රාන්ත (Pima County) ෂෙරිෆ් ක්‍රිස් නැනෝස් අවධාරණය කරයි.
නැන්සි අතුරුදහන් වූ දින රාත්‍රියේ ඇය සිය දියණියක වන ඈන් සහ බෑණනුවන් වන තොමසෝ සමඟ රාත්‍රී ආහාරය ගෙන ඇති අතර, ඔවුන් ඇයව නිවසට ඇරලවා තිබේ. කෙසේ වෙතත්, ෂෙරිෆ්වරයා ප්‍රකාශ කර ඇත්තේ පවුලේ සාමාජිකයන් කිසිවෙකු මෙම සිදුවීමට සැකකරුවන් නොවන බවයි. මෙම පැහැරගැනීම පිටුපස ඇති බියකරු අරමුණ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇත.













