තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ ඉලක්ක කරගනිමින් අද (16) සිදුකළ හදිසි පරීක්ෂාවකදී, පරීක්ෂාවට ලක් කළ වාහන 29න් 26ක්ම ධාවනයට නුසුදුසු මට්ටමේ පවතින බව අනාවරණය වී තිබේ. තිස්සමහාරාම පොලීසිය විසින් දෙබරවැව ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා රථ වාහන පරීක්ෂකවරුන්ගේ සහාය ද ලබා ගැනිණි. එහිදී ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ පාසල් බස් රථ 23කට සහ වෑන් රථ 3කට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් නියෝග නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
අදාළ රථ වාහනවල පවතින දෝෂ නිසි පරිදි සකසා නැවත රථ වාහන පරීක්ෂකවරයෙකු ලවා සහතික කර ගැනීමෙන් පසුව පමණක් දරුවන් ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට ඉඩ ලබාදෙන බව පොලීසිය අවධාරණය කළේය. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියේදීත් මෙවැනි හදිසි පරීක්ෂාවන් අඛණ්ඩව සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.














