ප්‍රසිද්ධ Twitch ස්ට්‍රීමර්වරයෙකු වන සැක් “Asmongold” හොයිට් (Zack “Asmongold” Hoyt) හට පසුගිය සඳුදා (අප්‍රේල් 06) සිට බලපැවැත්වෙන පරිදි Twitch ආයතනය විසින් සතියක තහනමක් පනවා තිබේ. සජීවී විකාශනයක් අතරතුර ඔහු විසින් කරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ල වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
තම තහනම පිළිබඳව X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, “තුන්වන ලෝකයේ නූගත් පුද්ගලයන්ගේ අදහස් තමන් ගණන් නොගන්නා බව” පැවසීම හේතුවෙන් තමන්ට මෙම තහනම පැනවූ බවයි. මෙය Twitch ආයතනයේ පක්ෂග්‍රාහී පිළිවෙතක් (Double Standard) බවත්, තමන් කිසිදු නීතියක් උල්ලංඝනය කර නොමැති බවත් ඔහු එහිදී තර්ක කළේය. “අමෙරිකානුවෙකුගේ අදහස් ගැන තැකීමක් නොකරන බව පැවසුවහොත් එවැනි තහනමක් පනවන්නේ නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Twitch ආයතනය සාමාන්‍යයෙන් තහනමක් පැනවීමට නිශ්චිත හේතුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ ද, මෙම ප්‍රකාශය ආයතනයේ ආචාර ධර්ම සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඇති බව වාර්තා වේ. මීට පෙර ද කිහිප වරක්ම මෙවැනි මතභේදාත්මක තත්ත්වයන්ට මුහුණ දී ඇති Asmongold හට මෙම නවතම සතියක තහනම ඔහුගේ රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.














