කළුතර දකුණ පොලිස් වසමේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ වෙඩිතැබීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) උදෑසන සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 සහ 27 යන වයස්වල පසුවන කළුතර උතුර සහ බෝඹුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මොවුන්ට එරෙහිව අපරාධය සඳහා ගිනි අවිය ප්‍රවාහනය කිරීමට සහාය වීම, අපරාධයට යොදාගත් යතුරුපැදියේ වර්ණය වෙනස් කර සාක්ෂි සැඟවීමට උත්සාහ කිරීම සහ අපරාධයට සෘජුවම ආධාර අනුබල ලබාදීම යන චෝදනා එල්ල වී ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී විමර්ශන නිලධාරීන් විසින් වර්ණය වෙනස් කිරීම සඳහා ගලවා තිබූ යතුරුපැදි කොටස් සහ ඒ සඳහා භාවිතා කළ ද්‍රව්‍ය, ව්‍යාජ අංක තහඩු ජෝඩුවක් සහ ව්‍යාජ ආදායම් බලපත්‍රයක් සොයාගෙන තිබේ.
කළුතර දිසා අපරාධ කොට්ඨාසය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.














